Archive for අප්‍රේල්, 2010

ඒත් පලක් නැතේ යා……..


බඹරෙකු ආවයි කකුල දිගේ                යා
ඌ කෑවයි දකුණු …………….           යා
ඉදිමී ආවයි
පොල් ගෙඩි සේ            යා
තල තෙල් ගෑවයි ඒත් පලක් නැතේ      යා


ඔයාල ඕන තරම් අහලා ඇති පණ්ඩිත් අමරදේවයන්ගේ “බඹරෙකු ආවයි නිරිත දිගේයා” කියන ගීතය. ඒ වගේම මේකත් ඔයාල අහල ඇතුවාට සැකයක් නෑ. මොකද අපේ ඉස්කෝලෙ කාලේ හොදින් දන්න, අපි හදාගත්ත සිංදුවක් නේ මේක. බඹරාට ඉස්කෝලෙ කාලෙ මතක් වුණ නිසා මේක දැම්මේ. ඔයාලටත් ඒ කාලෙ මතක් වෙන්න ඇති නේද? මේ වගේ අපේ පාසල් කාලෙ නිර්මාණ තියෙනවා නම් ඒව පලකරන්න කියලා මම යාලුවන්ගෙන් ඉල්ලනවා. (මේ හිස්තැනට එන්නේ නරක වචනයක් නම් නෙවේ යාලුවනේ).

Advertisements

සඳුදාව බෝ දුරයි!


ගතකලෙමි හිස් බවින් පිරි දෙසතියක්
දැනුණි ගතකල විලස දෙවසරක්
ඉවසුම් නැත මසිත……..
දකින්නට ඒ සුන්දර වත
දකින්නට ඒ සුන්දර සුනහව
අසන්නට නිමක් නැති තෙපුල්…..කුඩා දරුවකු විලස තෙපලන
දැනේ බෝ දුර ලෙසට
එනමුදු..හිඳිමි මම මග බලා
එලඹෙන තුරු සඳුදාව.


බඹරාට උදව්වක්…


බ්ලොග්කරණයට අලුත් සාමාජිකයෙක් වුණ මට මේකෙ කෙරෙන ගොඩක් දේවල් ගැන දැනුම හුඟක් අල්පයි. ඉතින් මගේ යාලුවනේ මගේ මේ blog සම්බ්න්ධ වැඩේදි මටත් මගේ blog එක ඔයාලගේ වගේ ලස්සන, ආකර්ශණීය blog එකක් කරගන්න කොච්චර ආස වුනත්, වුවමනාව තිබුනත් ඒකට මගේ කාර්ය බහුල කමත් එක්ක බ්ලොග්කරණය ගැන හොඳ අධ්‍යනයක් කරන්න වෙලාව වෙන් කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් බඹරා ඔයාලගෙන් බොහෝම ආදරයෙන් උදව් බලාපොරොත්තු වෙනවා.

දැන් ඔයාල බලාවි මේ කොහෙද යන බඹරෙක් වදයක් උස්සන් ඇවිත් අපිට මල වදේ කියලා. අපෝ නෑ යාලුවනේ. ඔයාලා කැමති නම් විතරක් පොඩි උදව්වක් දීල යන්නකෝ. මං මට උද්ගත වුණ ප්‍රශ්ණ කීපයක් කියන්නම්

1. මට බ්ලොග් එකේ ලියන අකුරු වල font size එක මීට වඩා ලොකු කරගන්න ඕන. ඒක කරන්නේ කොහොමද?

2. මම සමහර blogs වල දැක්කා followers කියල වෙනම කට්ටියක් ඉන්න බව.ඒ මොකද්ද?

3. මම සමහර blogs වල posts වලට comments දාන්න ගියාට, ඒ comments ගන්නේ නෑනේ? ඒ ඇයි?ඒ comment කරන්න බැරි සියලුම blogs, blogspot භාවිතයෙන් ලියපුවා. මම වගේ wordpress භවිතයෙන් ලියලා තියෙන blogs වල comment කරන්න පුලුවන්. ඉතින් බිඟුවා, Raven වගේ යාලුවො එහෙම මාත් එක්ක තරහා වෙලාද දන්නෙත් නෑ එයාලා? එයාල මට comments දීලත් මම සද්ද නෑ කියල?

4.) මේ මගේ blog පි‍ටුව තවත් ලස්සන කරගන්න මාත් ආසයි. ඒවටත් විශේෂ උපක්‍රම තියෙනවානම් මට කියල දීලා යන්න අමතක කරන්න එපා.

ආ…යාලුවනේ මට තව විශේෂම කරුණක් කියන්න ඕන. මට…ඒ කියන්නේ බඹරාට මේ blog ලියන අදහස දුන්නේ බඹරාගේ මලයි! ඒත් එයාට මම මේ ගැන කිව්වේ නෑ (සමහරවිට දැනගෙනද දන්නෙ නෑ?). එයාව මේ වෙලාවෙ මම ගොඩාක් ආදරයෙන් මතක් කරනවා..මොකද ඒ මගේ ජීවිතේ නිසා!

හරි ඉතින් දැන් බඹරා පුල පුලා බලා ඉන්නවා ඔයාලගෙන් උපදෙස් ලැබෙනකල්….

ස්තුතියි!
මීට බඹරා…..

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!


ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට හා සෞභාග්‍යය පිරි, යහපත් දේ සිදුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි බඹරා ප්‍රාර්ථනා කරයි!

ඉතින් යාළුවනේ මම ඔය හැමෝටම ආරාධනා කරනවා බඹර වදේට අවුරුදු නෑගම් එන්න කියලා. මගේ යාළුවෝ වෙනුවෙන් මම මේ අවුරුද්ද පුරාම කිරිබත්, කැවුම්, කොකිස් වගේම එකී මෙකී නොකී හැම ජාතියකින්ම පිරුනු බඹර වදේ කැවිලි මේසය සූදානම් කරල තියෙනවා.

ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්දෙ අලුත් ඇඳුම් ඇඳලා අලුත් යහපත් සිතුවිලිත් එක්ක ඔයාලා මගේ බඹර වදේට ගොඩ වදිනකල් බඹරා බලා ඉන්නවා.

බඹරා සින්ඩිකේටරයට…..


ඔන්න බඹරා සින්ඩිකේටරයට ආවා…සින්ඩිකේටරයෙ සාමජිකත්වය ලබාගන්න ඉල්ලුම් කරපු පරක්කුවට, ඒකට මගෙ බ්ලොග් එක අතුලත් කරගෙන තිබුණා. ඒකට සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයෙ නිලධාරී මඩුල්ලට මගේ හදවතින්ම ස්තුතිය පුද කරනවා…

ඉතින් මගේ යාලුවනේ මගේ බලාපොරොත්තුව මේ සින්ඩිකටරය තුල මගේ අත්දැකීම්, සතුට, විනෝදය මේ හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්නයි. මගේ විශ්ව විද්‍යාල ජීවිතෙත් එක්ක මම ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නෙ..ඒත් මට පුලුවන් උපරිමෙන් ඔයාල එක්ක හැමදේම බෙදාගන්නයි මට ඕන.

මේකෙ වෙනස් වෙන්න ඕන දේවල් ගැන මට ඒ තරම් දැනුමක් නෑ.ඒ හැමදේම ලස්සනට කරගන්න, අඩු පාඩු හදාගන්න මට ඔයාලගෙ උදව් ඕන. මචං, බං, උඹ, අඩෝ මල්ලි, අයියේ, ඔය හැම ආමණ්ත්‍රනයකින්ම එන අවවාද , උපදෙස් මම බොහොම සතුටින් ආසාවෙන් පිළිගන්නවා.

මේ බඹරාගේ බඹර තුඩේ විස නෑ……ඉතින් බඹර වදේට ගොඩ වැදිලා බඹරගෙ දුක සැප බලලා යන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ…